www.sinhala bible studies.com

සිංහළ බයිබල් පාඩම්

මෙම බයිබල් පාඩම් ඔබ දන්නා අයට හඳුන්වාදෙන මෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ද දේව වචනය තුළින් ශක්තිමත් වන පිණිසයි..

කුඩා කණ්ඩායම් සඳහා බයිබල් පාඩම්

ශුභාරංචියේ මුල් අරමුණ නොහොත් සැබෑ පරමාර්ථය.

යේසුස් ක්‍රිස්තු වහන්සේගේ ජිවිත පුජාව “ශුභාආරංචිය” ලෙසින් බයිබලයේ සඳහන් වන්නේ එය මිනිසාගේ පාපයට සමාවත්, සදාකාල නිරයෙන් ආත්මය ගලවාගනු පිණිසත් දෙවියන්වහන්සේම විසින් සුදානම් කල ගැලවීමේ මාර්ගය පෙන්වාදෙන පණිවිඩයද වීමයි.

"අප උන්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස කිසි පාපයක් නොදත්තාවූ උන්වහන්සේ අප වෙනුවට පාපය වෙන්නට දෙවියන්වහන්සේ සැලැස්වූ සේක". -2 කොරින්ති 6:21

ඒ අනුව බයිබලය එළිදරව් කරණ මේ ශුභාරංචිය දෙවියන්වහන්සේ හා සමග බැඳී පවතින්නේ දෙවියන්වහන්සේම මිනිසාගේ පාපයට හිමිවූ දඬුවමද භාරගැනීම හේතුකරගෙනයි. දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨ බවත් එසේම ධර්මිෂ්ඨකම වෙනුවෙන් දෙවියන්වහන්සේ පෙනීසිටින බවත් දේව වචනය පැහැදිලි කරයි. ඒ බැවින් ඒ ධර්මිෂ්ඨ දෙවියන්වහන්සේ වෙතට පව්කාර මිනිසුන් වන අපව නැවත වතාවක් සම්බන්ධ කල හැකි වෙනත් මාර්ගයක් නොවූ හෙයින්, දෙවියන්වහන්සේ ඒ වෙනුවෙන් තම ජීවිතය පුජා කරමින් ඒ තුලින් මිනිසාට පාපයෙන් ජයගැනීමටත් එසේම දෙවියන්වහන්සේ හා සමග සම්බන්ධ වියහැකි මාර්ගයත් විවරකර දුන්බව පෙන්වාදෙන ඒ පණිවිඩය එබැවින් “ශුභාරංචිය” ලෙසින්ද හඳුන්වයි.

දෙවියන් ගැන සලකා බැලීමේදී දෙවියන්වහන්සේ සැමවිටම ධර්මිෂ්ඨ අයෙකු ලෙසින් මෙන්ම ශුද්ධවූ අයෙකු ලෙසින්ද අප සලකන්නේ, මිනිසුන් වන අපගේම පුද්ගලික ගතිගුණ උන්වහන්සේ සමග සංසන්දනය කිරීමේදී ඒ බව පැහැදිලිවම පෙනෙන හේතුවයි. මිනිසුන් වන අපගේ දුර්වල ස්වභාවය දෙවියන්වහන්සේගේ පරිපුර්ණ ස්වභාවය හුවා දක්වයි. මෙහිදී “පරිපුර්ණ” යන වචනය අපි දෙවියන්ට පමණක් අදාළකරමින් පෙන්වාදෙන්නේත්, අපට නොමැති නුමුත් දෙවියන්වහන්සේ සතු උන්වහන්සේගේ ඒ ශුද්ධකම සහ ධර්මිෂ්ඨකම ගැනයි.

ඒවාට අමතර දෙවියන්වහන්සේ විසින් කීකරුව පවත්වන පිණිස මිනිසාට දෙනු ලැබූ උන්වහන්සේගේ අඥාවන්, අවවාද, අනුශාසනා යන මේ කාරනාවන්ද දෙවියන්වහන්සේ සතු උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම, ශුද්ධකම මෙන්ම ප්‍රේමය සහ කරුණාවත් පෙන්නුම් කරයි. එසේම දෙවියන්වහන්සේ විසින් දෙනුලැබූ ඒ ආඥාවන් වලට අපි කීකරු වීමට කැමති වන්නේත්, දෙවියන්වහන්සේ පවසා සිටින අවවාද අනුශාසනා අප පිළිගැනීමට එකඟ වන්නේත්, උන්වහන්සේ පෙන්වාදෙන ඒ ගුණාංගයන් යහපත් බව අපට පැහැදිලිව පෙනෙන නිසා පමණක් නොව නුමුත් එවැනි ගුණාංගයන් අප තුල නොමැති නිසා බවත් අප හොඳින් දන්නා නිසායි.

එබැවින් දෙවියන්වහන්සේ මෙන් ධර්මිෂ්ඨව පමණක් නොව නුමුත් කරුණාවෙන් සහ ප්‍රේමයෙන් පිරි මිනිසුන් ලෙසින් මෙලොව ජිවත්වන පිණිසත් අප ඒවා පිළිගැනීමටත් ඒවාට කීකරුවී ජීවත්වීමටත් එකඟ වෙයි. ඊට අමතරව මෙලොව ජීවිතය යහපත් එකක් කරගැනීමට දෙවියන්ගේ උපකාරය පමණක් නොව නුමුත් මඟපෙන්වීමත් අවශ්‍යය බව අපට හැඟෙන්නේත්, ස්වභාවයෙන්ම අප තුල ක්‍රියාවට නැගෙන අපගේම දුර්වලවූ ඒ පව්කාර ස්වභාවය ගැනත් අපට පැහැදිලි අවබෝධයක් තිබෙන නිසායි.

මිනිසා මුහුණ දෙන මේ ආත්මික අභියෝගයෙන් මිදීමට දෙවියන්වහන්සේ පෙන්වාදී ඇති පණිවිඩය එබැවින් අප ඉදිරියේ ශුභාරංචියක් වෙයි.

ශුද්ධකම සහ ධර්මිෂ්ඨකම යන මේ ගුණාංගයන් දෙක සැමවිටම දෙවියන්වහන්සේට පමණක් අදාළවූ ස්වභාවයන් ලෙසින් බයිබලයේ පෙන්වා දී තිබුණත්, පටන්ගැන්මේදී මේ ආත්මික ගුණාංගයන් දෙක ආදම් සහ ඒවා ලෙසින් පෙනීසිටි ඒ පළමු මිනිස් යුවළටද සතුව තිබු බවත් උප්පත්ති පොතේ ඇති වාර්තා පෙන්වාදෙයි.

ඒ අනුව දෙවියන්වහන්සේට පමණක් ආවේණිකවූ ගුණාංගයන් ලෙසින් දැන් අපි පෙන්වාදෙන උන්වහන්සේගේ මේ ශුද්ධකම සහ ධර්මිෂ්ඨකම යන ඒ විශේෂ ගුණාංගයන්, ආරම්භයේදී උන්වහන්සේ විසින් සදා මවනලද මිනිස් වර්ගයාටද උරුමවී තිබුණු බව පැහැදිලි වෙයි.

"තවද දෙවියන්වහන්සේ; අපගේ ස්වරුපයෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදම්හ." -උප්පත්ති 1:26

එයින් අදහස් වන්නේ, දෙවියන්වහන්සේ විසින් සාදා මවන ලද පළමු මනුෂ්‍යයා වන ආදම් සහ ඉන්පසු ඔහුගේ සහකාරිය ලෙසින් ඔහුට දෙනලද ඒවා යන මොවුන්, උන්වහන්සේගේ “සමානත්වයට” අනුව සෑදු බව එහි සඳහන් වී තිබීමයි.

දෙවියන්වහන්සේගේ සමානත්වයට සහ ස්වරුපයට අණුව සාදණු ලැබූ ඒ පළමු මිනිස් යුවළේ ස්වභාවයද, දෙවියන්වහන්සේගේ ස්වභාවය වන ශුධකම සහ ධර්මිෂ්ඨකම සමග සැසඳී තිබුන බවට සාක්ෂි එය සපයයි. . "අපගේම ස්වරුපයෙන් සහ අපගේම සමානත්වයෙන්" යන ඒ ප්‍රකාශය ඒ අර්ථය ගෙනදෙයි.

උප්පත්ති පොතේ පළමු පරිච්චේදය එළිදරව් කර ඇති මේ සාක්ෂිය පෙන්වාදෙන්නේ, පළමු මිනිසාගේ ආරම්භය යහපත් එකක්ව තිබුණ බවයි. එයින් අදහස් වන්නේ දෙවියන්වහන්සේ විසින් මවන ලද පළමු මිනිස් යුවළ, දෙවියන්වහන්සේ මෙන් ධර්මිෂ්ඨකමින් සහ ශුද්ධකමින් සැරසී සිටිය වගයි.

එය එසේ වුයේ නම් ඒ ගැන උප්පත්ති පොත පෙන්වාදී ඇති මේ එළිදරව්ව අප ඉදිරියේ ප්‍රශ්ණයක් මතු කරයි. එසේ නම් වර්තමානයේ ජිවත්වන අප තුල ඒ ධර්මිෂ්ඨ ස්වභාවය හෝ ඒ ශුද්ධකම නොමැත්තේ ඇයි? යන ප්‍රශ්නයද මෙහිදී පැන නගියි. ඒ ගැන ඒ පැත්තෙන් බලද්දී මතුවන අනෙක් ප්‍රශ්නය වන්නේ, ආරම්භයේදී මිනිසා සතුවූ නියම ස්වභාවය එය නම්, ඒ ස්වභාවය අපෙන් ගිලිහි යෑමට මුල් වූ හේතුව කුමක්ද? යන ප්‍රශ්නයයි.

මනුෂ්‍යන් හැටියට ධර්මිෂ්ඨ ජිවිතයක් ගත කිරීමට අප කෙතරම් උත්සාහ කලත්, ධර්මිෂ්ඨකම වෙණුවට අධර්මිෂ්ඨකම පමණක් මිනිසුන් තුළ රජයනු දැකීම වර්තමාන ජනසමාජය මුහුණ දෙන විශාලතම ප්‍රශ්ණයයි! රට, ජාතිය හෝ ආගම කුමක් වුවත්, අධර්මිෂ්ඨකම නොමැති රටක් හෝ ජනසමාජයක් මෙළොව සොයාගැනීමට නොහැකිවීම රහසක් නොවෙයි. වර්තමාන ලෝකයේ සියළු මනුෂ්‍යය වර්ගයා තුළින් ධර්මිෂ්ඨකම සහ ශුද්ධකම ගිලිහි ගොස් ඇති බව පෙන්නාදීමට සාක්ෂි අවශ්‍යය නොවන්නෙත් ඒවා අප සමාජයේ සාමාන්‍යය සිදුවීම් බවට පත්ව ඇති නිසායි.

ආරම්භයේදී මිනිස් වර්ගයා දෙවියන්වහන්සේ විසින් ධර්මිෂ්ඨව සාදා මවනු ලැබූ බවට පෙන්වාදී ඇති ඒ එළිදරව්ව සමග අප ජිවත්වන වර්තමාන තත්වය සැසඳීමේදී අපගේ පළමු ස්වභාවය අපෙන් ගිලිහි ගොස් ඇති බව පැහැදිලිව පෙනෙයි. . එබැවින් අපගේ ඒ මුල් ස්වභාවය (ධර්මිෂ්ඨකම සහ ශුද්ධකම) අපෙන් පහවීමට මුල්වූ ඒ හේතුව කුමක්ද? කියා සොයා දැනගැනීම අප සියලුදෙනාටම වැදගත් වන්නේ, මිනිසුන් වන අප සියලු දෙනාම මුහුණ දෙමින් සිටින මේ ආත්මික පසුබෑමට විසඳුමක් සොයා ගන්නා පිණිසයි.

බයිබලය අධර්මිෂ්ඨකම හඳුන්වා දෙන්නේ “පාපය” හැටියටයි. එසේම ශුද්ධකම නමැති ස්වභාවයේ විරුද්ද පැත්ත වන්නේද අධර්මිෂ්ඨකමයි. අධර්මිෂ්ඨකම දෙවියන්වහන්සේගේ ස්වභාවය වන ධර්මිෂ්ඨකමට සහ ශුද්ධකමට විරුද්ධව සැමවිටම නැගීසිටියි. මිනිසුන් වන අපි මුහුණ දෙන මේ තත්වය එබැවින් ආරම්භයේදී දෙවියන්වහන්සේ විසින් තමන්ගේ ම සමානත්වයට සෑදු ඒ පළමු මිනිස් යුවල සහ වර්තමානයේ මිනිසුන් හැටියට ජිවත්වන අප අතර යමක් සිදුවූ බවට සාධක සපයයි.

ඒ සිදුවීම මනුෂ්‍යයාගේ පළමු ස්වභාවය පමණක් නොව නුමුත් තම මැවුම්කාර දෙවියන්වහන්සේ සමග මිනිසා සතුව තිබු සමීප සම්බන්ධකම (සහභාගීකම) පවා වෙනස් කළ බවත් එය පෙන්නුම් කරයි.

මිනිසාගේ වර්තමාන තත්වය ගැන බොහෝ මිනිසුන් අදහස් ඵලකර තිබෙනවා වාගේම, දේව වචනය දෙස බැලීමේදී ඒ ගැන මිනිසාගේ මැවුම්කාරයාණන් ලෙසින් පෙනීසිටින දෙවියන්වහන්සේද කර ඇති බවත් දේව වචනයේ ඇති වාර්තාද එළිදරව් කර සිටියි.

දේව වචනය ගැන මනා දැනුමක් තිබු පාවුල් දේවවචනයට අනුව ඒ හේතුව විස්තර කරන්නේ, පළමු මිනිසාවූ ආදම්ගේ “පාපය” එයට හරස් වූ බවයි!

"ධර්මිෂ්ඨ කෙනෙක් නොමැත, එක් අයෙක්වත් නැත! සියල්ලෝම පව් කොට දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනවී සිටිති." - රෝම 3:10

දෙවියන්වහන්සේ විසින් පළමුවෙන් සාදනලද මනුෂ්‍යයා සතුව තිබු ඔවුන්ගේ ධර්මිෂ්ඨකම සහ ශුද්ධකම ඔවුන්ගෙන් ගිලිහීයාමට හේතුවූ හේතුව මෙන්ම, පළමු මිනිස් යුවළ තම මැවුම්කාරයාණන් වහන්සේ සමග පවත්වාගෙන ගිය ඒ සමීප සහභාගිකම පවා නැතිකර ගැනීමටත් "පාපය" හරස්වූ බව රෝම පොතේ පෙන්වාදෙන පාවුල් තුමා, එසේ වීමට ආදම්ගේ “අකීකරුකම” මුල්වූ බවට සාක්ෂිත් දේව වචනයම උපයෝගී කරගනිමින් පැහැදිලි කරයි.

“එහෙයින් එක මනුෂ්‍යයෙකුගේ “අකීකරුකම” කරණකොටගෙන පාපයත් පාපය කරණකොටගෙන මරණයත් ලෝකයට ඇතුළු උනාක්මෙන්, සියළු මනුෂ්‍යයන් පව්කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණයද පැමිණුනේය.” -රෝම 5:12)

මනුෂ්‍යන් වන අපට උපතින්ම උරුමවී ඇති මේ පව්කාර ස්වභාවය අප උරුම කරගන්නේ පළමු මිනිසා වූ ආදම් ගේ අකීකරුවීමේ ප්‍රතිඵලය වන නිසා ඒ පළමු මිනිසාගෙන් පැවත එන මිනිසුන්වන අප සියළුදෙනාට ද එබැවින් ඒ පාපිෂ්ඨ ස්වභාවයේ බලපෑම බලපාන බවත් පෙන්වාදෙමින් පාවුල් තුමා එහි පැහැදිලි කරන්නේ, අප සියලු දෙනාම මේ තත්වයේ ජීවත්වන්නේ පළමු මිනිසා වූ ආදම් ගේ අකීකරුකම තුලින් මිනිස් වර්ගයා උරුමකරගත් “පාපය” යන ඒ අධර්මිෂ්ඨ ස්වභාවයේ බලපැවැත්ම හේතුකරගෙනයි.

වර්තමානයේ ජිවත්වන අප තුල පවා උපතින්ම රජයන මේ දුර්වල ස්වභාවය අප පව්කරුවන් කරන්නේ, මිනිසුන්වන අපගේ අරමුණ යහපත් වුවත් ජන්මයෙන් අප තුළ පාපිෂ්ඨ ස්වභාවයද රජකරණ හේතුවයි. එය අපට උපතින්ම උරුමවන බැවින් එයින් ගැලවීමක්ද අපට නොවෙයි. ඒ අනුව අප කරණ සියලු යහපත් දේ පවා පව්කාරයන් හැටියට පමණක් අප අතින් සිදුවන්නේ, අප තුලින් එලියට එන මේ පව්කාර ස්වභාවය අධර්මිෂ්ඨ එකක්ද වීමේ හේතුවයි. .

යතාර්ථය එයනම්, සැබෑ ධර්මිෂ්ඨයන් වීමේ උත්සාහයද සැබවින්ම මිනිසාට සිහිනයක් පමණක් වන්නේ ස්වභාවයෙන් පව්කාර ස්වභාවයක් උසුලන අපගේ සියළු ධර්මිෂ්ඨ උත්සාහයන් පවා අධර්මිෂ්ඨයන් හැටියට අප අතින් සිදුවන හේතුවයි.

ඒ අනුව ඒ දෙස බලනවිට අප තුල රජයන ඒ අධර්මිෂ්ඨ ස්වභාවය ධර්මිෂ්ඨ කම උපයාගැනීමට හරස්ව අප තුලින්ම ක්‍රියාවට නැගෙන ආකාරය පැහැදිලිව පෙනෙයි.

මිනිස් වර්ගයා පැටලී සිටින සැබෑ තත්වය එය බැවින් ඒ තත්වයෙන් මිනිසා මුදවා ගැනීමට දෙවියන්වහන්සේම ඉදිරි පත්වන්නේ, උන්වහන්සේ තුලින් අප මුහුණ දෙන පාපයට සමාවත් එසේම ධර්මිෂ්ඨ දෙවියන්වහන්සේ සමග සම්බන්ධකමත් නැවත ගොඩනගා ගැනීමටත් උදව් වන පිණිසයි.

"මක්නිසාද එක මනුෂ්‍යයකුගේ අකීකරුකම කරණකොටගෙන බොහෝදෙනා පව්කාරයන් කරනු ලැබුවාසේම, එක්කෙනෙකුගේ කීකරුකම කරණකොටගෙන බොහෝදෙනා ධර්මිෂ්ඨකරණු ද ලබන්නෝය". - රෝම 5:19

අපට අපගේම ස්වකිය උත්සාහයෙන් ධර්මිෂ්ඨකම උපයාගැනීමේ හැකියාව පාපය හේතුකරගෙන අපෙන් ගිලිහී ගොස් තිබුණත්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජිවිත පුජාව අපට ශුභ ආරංචියක් වන්නේ, එය දෙවියන්වහන්සේගේ සැබෑ ධර්මිෂ්ඨකම ලබාගැනීම මිනිසාට තවදුරටත් සිහිනයක් නොවීමට එය හේතුවක් වීමයි. දෙවියන්වහන්සේම විසින් ඒ මාර්ගය අපට ලබාදී හමාර බවත් දේව වචනය පෙන්වාදීම ඒ ශුභ ආරංචියේ පටන්ගැනීමයි.

බයිබලය පෙන්වාදෙන ශුභාරංචියේ පරමාර්ථය එයයි!

එනම්, අධර්මිෂ්ඨ ස්වභාවය ඇතුව උපත ලබා සිටින අපව දෙවියන්වහන්සේ ඉදිරියෙන් වෙන් කරනු ලැබ සිටින බැවින් දැන් ඒ තුලින් දෙවියන්වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨකම ලබාගැනීමට හැකි මගක් තිබෙන බවත් එය පෙන්වයි. එබැවින් ඒ තුළින් අපගේ ජම්මික පාපයට සමාව ලබාගැනීමට හැකිවනවා වාගේම අපෙන් ගිලිහී ගිය දෙවියන්වහන්සේ සමග තුබූ ඒ මුල් සහභාගීකමත් දැන් අපට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජිවිත පුජාව කරණකොට ගෙන හරිගස්සා ගතහැකියි යන ඒ පණිවිඩය, සැබවින්ම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් පවසා සිටින ඒ ශුභාරංචියේ එකම පරමාර්ථයද වෙයි.

"මක්නිසාද දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ලෝකයට එව්වේ, ලෝකයා විනිශ්චය කරණ පිණිස නොව, නුමුත් ලෝකයා උන්වහන්සේ කරණකොටගෙන ගළවනු ලබන පිණිසය. උන්වහන්සේ කෙරෙහි අදහාගනු ලබන්නා විනිශ්චය කරණු නොලැබේ." -යොහාන් 3:17

මනුෂ්‍යය වර්ගයා පාපයේ ග්‍රහණයෙන් මුදවාගනු පිණිස පාපය නොදත් යේසුස් ක්‍රිස්තුස් උන්වහන්සේගේ ජිවිත පුජාව පෙන්වාදෙන ඒ ශුභාරංචිය ආත්මික එකක් බවත් දේව වචනය පැහැදිලිකර සිටියි. එය මිනිස් වර්ගයාගේ පාපයට හිමි දඬුවම වෙනුවෙන් ධර්මිෂ්ඨ විනිශ්චය ඉල්ලා සිටින ඒ සදාකාලික “මරණයෙන්” නිදහස් වියහැකි මාර්ගය මිනිසාට විවර කරයි.

"මක්නිසාද, පාපයේ කුලිය නම් මරණයය; නුමුත් දෙවියන්වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ සදාකාල ජිවනයය." -රෝම 6:23

දෙවියන්වහන්සේ ඉදිරියේ පව්කරුවන් වන අපට හිමි දඬුවම වෙනුවෙන් උන්වහන්සේම මෙළොවට පැමිණ ඒ දඬුවම තම කරපිටට ගෙන, පාපයේ දඬුවමට හිමි වන්දිය තමා විසින් කල්වාරි කුරුසියේ ගෙවා දැමුබව මිනිසාට දන්වා සිටීම එයින් අදහස් වෙයි.

දෙවියන්වහසේම විසින් අප වෙනුවෙන් සුදානම් කල ඒ මාර්ගය පිළිගෙන විශ්වාසයෙන් අදහා ගන්නා සියළු දෙනාටම පාපයට සමාව පමණක් නොව නුමුත් අවසාන විනිශ්චයෙන් ගැළවීමටත් හැකි බව දේව වචනය පවසයි.. එසේම පාපය නිසා වැරදිකරුවන් වී සිටින මිනිසාට අවසානයේ මුහුණ දීමට සිදුවන විනිශ්චයෙන් පවා ගැළවීමට හැකි බව පෙන්වාදී ඇති ඒ පණිවිඩය බයිබලය එළිදක්වන ශුභාරංචියයි.

පාපයේ බලයට යටවී අතරමංව, අසරණවී සිටින මිනිස් වර්ගයාගේ මිදීම වෙනුවෙන් දෙවියන්වහන්සේ සැලසුම් කල ඒ කුරුසියේ ජිවිත පුජාව ශුභාරංචියක් ගෙන දුන්නත්, දේව වචනයේ පෙන්වාදී ඇති ඒ ශුභාරංචිය ගෙනදෙන ගැලවීමේ නිදහස භුක්ති විඳීමට නම්, ඒ ශුභාආරංචිය පිළිගැනීමට කැමති වියයුතු බවත් දේව වචනයේ ඇති ඉගැන්වීම පෙන්වාදෙයි. එයින් අදහස් කෙරෙන්නේ එය පිළිගැනීම හෝ එයට පිටුදැකීම අප අතේ පවතින බවයි. ඒ තීරණය පුද්ගලික එකක් වන බැවින් එය අප එකිනෙකා මත රැඳී පවතියි.

"මනුෂ්‍යයන් ධර්මිෂ්ඨ කරන්නාවූ මාර්ගය , මුලසිට අග දක්වාම ඇදහිලෙන් බව දැන් ශුභාරංච්ය තුළින් එළිදරව් වී තිබේ". -රෝම 1:17

මිනිසුන් හැටියට අපගේ පැත්තෙන් ගතයුතු වූ ඒ තීරණය අපගේ ආත්මික ජිවිතයට වැදගත් වන්නේ එය පමණක් අපගේ ආත්මයේ ගැලවීම වෙනුවෙන් අපට ඇති එකම මාර්ගයද වීමයි. පාවුල් තුමා තවදුරටත් රෝම පොතේ ඒ ගැන මෙසේ පවසයි.

"අපි අපේ පාප කියාදෙමු නම්, අපේ පව් අපට කමා කරන්නටත්, අපගේ සියලු අධර්මිෂ්ඨකම් වලින් අපව පවිත්‍ර කරන්නටත්, උන්වහන්සේ (යේසුස් ක්‍රිස්තුස් වහන්සේ) විශ්වාසවන්තව සහ ධර්මිෂ්ඨව සිටිනසේක". - 1 යොහාන් 1:9

(©2016 ~ දර්මදාස ශුභාරංචි සේවය තුලින් උපුටා ගන්නා ලදී. )

මෙම පාඩම් කණ්ඩායමක් ලෙසින් ඉගෙනගැනීමට කැමතිනම් පමණක් පහත සඳහන් පිළිවෙල අනුගමනය කරන මෙන් ඉල්ලා සිටිමු.

0.පාඩමක් තෝරා ගැනීමට පෙර පළමුවෙන්ම දෙවියන්වහන්සේගේ මඟ පෙන්වීම වෙනුවෙන් යාඥා කරන්න.

1. තෝරාගත් පාඩම කීපවතාවක් කියවාගෙන හොඳින් අවබෝධකර ගන්න.

2. සඳහන් බයිබල් පදයන්ද කියවා ඒවා හොඳින් තේරුම්කර ගන්න.

3. අවශ්‍ය නම් පාඩම ඔබගේ යාඥා කණ්ඩායමට ගැලපෙන අයුරින් නැවත සකසා ගන්න.

4. යාඥා කරන්න. පාඩම ගැනත් පාඩම බෙදාගන්නා සියළුදෙනා ගැනත් කාළය අරගෙන අවංකව යාඥා කරන්න.

5.දෙවියන්වහන්සේගේ ආලේපය නොමැතිව අපි කුමක් කළත් එහි බලයක් නොමැති බව තේරුම් ගන්න. ශුධාත්මයාණන් වහන්සේගේ පිහිට පතා යාඥා කරන්න.

6.දෙවියන්වහන්සේ ඔබට මඟපෙන්වන අයුරින් වචනය බෙදා ගන්න.
බයිබල් පාඩම්වල විද්‍යුත් පිටපත් ලබාගැනීමට කැමතිනම් එහි මාතෘකාව සමග ඊ මේල් ලිපියක් contact@sinhalabiblestudies.com නමට එවන්න.